Kebiliththa devala, kebiliththa kotiyagala, kebiliththe, KIBILI, kibiliththa, LOKESAN,

Translate

Thursday, August 16, 2012

miracle of kebiliththa devalaya - හාස්කම්


පසුගිය දිනක ආණ්ඩුවට සම්බන්‍ධ ඇමතිවරයෙක් කොටියාගල පැත්තෙන් මහකැබිලිත්ත දේවාලයට යන්නට සිය සහචරයන් සමග පැමිණියේය. වාහන කිහිපයකින් පැමිණි මේ ඇමතිවරයාගේ ආරක්‍ෂක නිලධාරින්  සහ ඔහුගේ අතවැසියන් යැයි සිතිය හැකි පිරිස හැසුරුනේ නගරයේ දී හැසිරෙන ආකාරයටමය. මහ වනාන්තරය මැද කිලෝමීටර් තිහකට වැඩි දුරක් ගිය පසු හමුවන මහ කැබිලිත්ත සියඹලා දේවාලයට ගොඩවිය යුත්තේ කුඹුක්කන් ඔය එගොඩ වීමෙනි. එසේ එගොඩ වන්නට පාලම් නැත. ගගට බැස එගොඩ විය යුතුය.
කොටියාගල සිට යා යුතු මග ද පහසු නැත.  පුංචි වැස්සක දී වුවත් පාර මඩවෙයි. එවැනි අවස්ථාවල මඩවළවල් මගහැර ඒ අසලින් තවත් පාරක් තැනෙයි.
මීට පෙර පැවසූ ඇමති තනතුර දරන්නා පසුගිය කාලයේ සිය ගෝලබාලයන් ලවා කතරගම දේව අඩවියේ කතරගම දෙවියන් උදහසට ලක්වන ආකාරයේ සිදුවූ ක‍්‍රියාවන් රැසක් සම්බන්‍ධව සමාජයේ කතා බහට ලක්වූ ඇමතිවරයෙකි. මහකැබිලිත්ත සියඹලා වෘක්ෂයේ භාවනානුයෝගීව වැඩවෙසෙන කතරගම දෙවියන්ට පූජාවන් පවත්වා සිදු වූ වැරදිවලට සමාව අයැදීම ඇමතිවරයාගේ මේ ගමනේ අරමුණ බව ඔහුගේ ගෝලයෙක් සෙසු පිරිසට කියා තිබුණි.
මහකැබිලිත්තේ සියඹලා දේවාලයට මෙගොඩ පිහිටි ගංඉවුරට එන සියලූ දෙනා එතැන නැවතීම සිරිතය. පළමුව ගෙනා බඩුමුට්ටු දානය පිළියෙළ කිරීමට සූදානම් කරගනී. ඉන්පසු කුඹුකන් ඔයෙන් දිය නා ගංඉවුරේ වැල්ලේ වළවල් හාරා නොඉදුල් දියෙන් මුලතැන්බත් දානය සකසාගැනීම සිරිතය. එසේම මේ කටයුතු කරගැනීම සදහා නැවතී සිටින මෙගොඩ ඉවුරේ රාත‍්‍රී අදුර මැඩ ගන්නේ පහන් එළියකින් හෝ බැටරි උපයෝගී කරගෙන දල්වා ගන්නා බල්බයකිනි.
නමුත් මේ ඇමතිවරයා එහි පැමිණියේ විදුලි ජනක යන්ත‍්‍රයක්ද රැගෙනය. මහකැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය වනසතුන්ට වෙන්කළ ප‍්‍රදේශයක් බව අමතක කරන බොහෝ දෙනෙක් ඔවුන්ට හිරිහැර වන පරිදි හැසිරෙන අවස්ථාද තිබේ. නමුත් කිසිවෙකුත් එවැනි අයට අවවාද කරන්නට යන්නේ නැත. මේ අයද විදුලියජනක යන්ත‍්‍රයක් රාත‍්‍රියේ කි‍්‍රයාත්මක කිරීම සුදුසු නොවන බව අවබෝධයක් නැතිවූ පිරිසක් විය.
අදුර වැටෙන්නට පෙර කුඹුක්කන්ඔය අසලට පැමිණි පිරිස කූඩාරම් කිහිපයක් ඉදිකළහ. ඒවා ආලෝක කරන්නට විදුලි රැහැන් ද ඇද්දේය. ඇමතිතුමා ද මේ කටයුතු දෙස බලා සිටියේය. අඳුර දසත ගලා යද්දී විදුලිජනක යන්ත‍්‍රය පණගන්වන්නට උත්සාහ ගත්ත ද ඵලක් නොවීය. ඇමති ගෝලයෝ පැය ගණනාවක් තිස්සේම විදුලිජනක යන්ත‍්‍රය වෙනුවෙන් කාලය ගෙව්වත් ගෙනවිත් තිබූ විදුලි පන්දම් කිහිපය සහ පැමිණ සිටි අනෙක් බැතිමතුන් අදුර මකා ගන්නට ගෙනා ආලෝකයෙන් ඇමතිවරයා ඇතුලූ ගෝලබාල පිරිසත් එළිය බැලූහ. ඒ නිසා පාන්දරම දානය පිළියෙළ කරන්නට දෙවියන්ට පූජා කිරීමට ඇමතිවරයා තුළ තිබූ අදහස සඵල නොවීය.
මහකැබිලිත්තට එන පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගෙන් අඩුවක් නැත. වසර විසිපහක් වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා මහකැබිලිත්ත දේවාලයට නිතර යනෙන තැනැත්තෙකි. ඔහු මහකැබිලිත්ත දේවාලයට ගිය අවස්ථාවක එහි පැමිණ සිටි තවත් ඇමතිවරයෙකුට වූ ඇබැද්ධියක් විස්තර කළේය.
‘‘මේ ඇමතිතුමා ඇතුලූ පිරිසට පාර පෙන්වීම මට පැවරී තිබුණා. අපි කොටියාගල පැත්තෙන් ගියේ. අදුර වැටෙන්න ඉස්සර කිලෝමීටර් තිහක විතර දුර ගෙවාගෙන කුඹුක්කන් ඔය අසලට ගියා. වෙලාව තිබුණ නිසා මම ඇමතිතුමාට කිව්වා ‘අපි පූජාව තිබ්බොත් හොදානේද’ කියලා. ඇමතිතුමා ගත් කටටම කිව්වා උදේ පූජාව තමා අනුහස් තියෙන්නේ ඒ හින්දා උදේම පූජාව තියමු කිව්වා.’’
‘‘ඇමතිතුමාගේ වචනයට අභියෝග කරන්න මට බැරි නිසා ‘හා...හොදා’ කියලා මමත් හිටියා. ආපු අය සමහරු කූඩාරම් ගහගෙන හිටියා. තව සමහරු පැදුරු, ඉටිරෙදි එලාගෙන බිම නිදාගත්තා. පාන්දර එකට දෙකට විතර ගග ගලන ශබ්දයේ වෙනසක් මට ඇහුනා. මම තව කිහිප දෙනෙකුට කතා කරලා විදුලි පන්දමත් අරගෙන ගිහිං කුඹුකන්ඔය පැත්තට එල්ලකර බලද්දි කුඹුක්කන් ඔය දෙගොඩතලා ගලනවා. හැබැයි අපි හිටිය තැනට වැහි පොදක්වත් තිබුණේ නෑ.’’
‘‘ඇමතිතුමාටත් කට්ටිය ඒ වෙලාවෙම කතා කරල කිව්වා. එතකොට අඩි පහ හයක් විතර වතුර වැඩිවෙලා තියෙන්න ඇති. ඇමතිතුමා කිව්වා එළිවෙනකොට අඩුවෙයි කියලා. පාන්දරත් වුණා. කුඹුක්කන් ඔයේ වතුර වැඩිවෙනවා මිස අඩුවීමක් නෑ. දැන් වතුර මට්ටම අඩි නවයක් විතර ඇති. දවල් දොළහ වෙනකම් බැලූවා. ඒත් අඩුවක් නෑ. මම කලින් දවසේ ආපු ගමන්ම කිව්වානේ අපි මුලින්ම පූජාව තියමු කියලා. ඇහුවේ නෑ නොවැ. දවල් දහය විතර වෙනකොටත් ග`ග අඩු නොවුන හින්දා ඇමතිතුමා මගෙන් ඇහුවා ‘දැන් අපි දේවාලෙට යන්නේ කොහොමද?’ කියලා.’’
‘‘ඇත්තටම දේවාලයට යනවා තියා හිතන්නවත් බෑ. මම කිව්වා මෙගොඩ ඉදලා දානය පිළියෙළ කරලා, දවල් නොවුණොත් බෝධියට බුද්ධපූජාව තියලා කතරගම දෙවියන්ට  පින් දීලා දේවාලය පැත්තට තියන ගහක් මුල ගෙනා ඉතිරි පූජා බඩු එන කාට හරි ගන්න පුලූවන් විදියට තියලා ආපහු යමු කියලා. ඇමතිතුමාත් ඒකට එකග වුණා. මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන්න ආ ගමන කුඹුක්කන් ඔයේ මෙගොඩ ඉවුරට සීමාකරලා, දේවාලය පෙනි පෙනී ගමන නවතා ආපහු එන්න සිද්ධ වුණා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඇමතිතුමාටත් එයාගේ ගෝලයන්ටත් මහකැබිලිත්තේ හාස්කම් තියනවා කටවරද්දාගන්න හොදනෑ කියලා හිතිලා තිබුණේ.’’ විමල් කොඩිතුවක්කු සිය අත්දැකීම විස්තර කළේය.
අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්‍ද මෛත‍්‍රය මහනාහිමිගේ ශිෂ්‍ය නමක්වූ ලන්ඩන් නුවර වැඩවෙසෙන බඹරබොටුවේ ආනන්‍ද හිමි ඇතුලූ පිරිසක් මීට මාසයකට පමණ පෙර මහකැබිලිත්ත දේවාලය බලා වැඩම කළහ.
‘‘මගේ ගුරුදේවයාණන් වූ අග්ගමහා පණ්ඩිත ආනන්‍ද මෛත‍්‍රය මහනාහිමියන් කතරගම දෙවියන් ජීවමානව දුටු බව උන්වහන්සේ විසින් රචිත ලිපි කිහිපයකම දක්වලා තියනවා. උන්වහන්සේ ජීවත්ව සිටියදී කතරගම දෙවියන්ට නිතරම පින් අනුමෝදන් කරනවා. මම මහකැබිලිත්තට ගියේ එතන බලලා කතරගම දෙයියන්ට පින් අනුමෝදන් කරන්න.’’
‘‘අපි මොනරාගලට ගිහිං එතනින් කොටියාලට ගියා. කොටියාගලින් තමයි කැලේට ඇතුල්වුණේ. මහවැස්සක් පටන්ගත්තා. එකතැනකින් අපේ ජීප්එක ගත්තේ බොහොම අවදානමෙන්. වාහනය ඇලවුණ ආකාරය දැක්කාම අනතුරක් වෙයිද කියලා හිතුණා. නමුත් අන්තරාවක් නැතුව අපි ඒ බාධකයෙන් එගොඩ වුණා. වැස්සෙම අපි මහ කැබිලිත්තට ගියා. ටිකදුරක් යනකොට වැස්ස නැවතුණා.’’
‘‘කුඹුක්කන් ඉවුර ළගට යනකොට තවත් ගොඩාක් අය වාහන සහ ට‍්‍රැක්ටර්වලින් ඇවිත් හිටියා. කුඹුක්කන් ඔයේ ඉවුරුදෙකේ තියන  බෝධීන් දෙනම වන්දනා කරලා කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරලා මහසියඹලාව සහ කුඩා සියඹලාව බලලා ආපහු එන්න පිටත්වුණා. එතකොට අඳුර වැටිලා තිබුණේ. ටිකදුරක් එනකොට ගමන අමාරු බව අපිට තේරුණා. දහවල් වැස්ස නිසා වතුර පිරුණු තැන්වලින් ට‍්‍රැක්ටර් සහ ජීප් ගිහිං හොදටම මඩවෙලා.’’
‘‘පැය කිහිපයක් මෙහෙම එද්දි තුංමං හන්දියක් හමුබ වුණා. අපි එතනින් වමට හැරෙව්වා. වාහනේ හිටිය කිහිපදෙනෙක් කිව්වා වමට නෙවෙයි දකුණට නේද කියලා. නමුත් පාර මඩවෙලා හින්දත් අ`දුර පැතිර තිබූ නිසා වට පිටාව නොපෙනුන නිසාත් අපට යායුතු හරිපාර අවබෝධ කරගන්න බැරිවුණා. අපි වමට  තිබුණ පාරදිගේ ගියා. පැය භාගයක් විතර එහෙම යන්න ඇති. වතුර පිරුණු මහ මඩවළක් ඉදිරියෙන් පෙනුණා. එතනින්නම් කොහොමත් යන්න බෑ. අපි ළ`ග තිබුණ විදුලි පන්දම්වලින් අවට සෝදිසිකරන කොට මඩවළෙන් එගොඩ අලි රංචුවක් ඉන්න බව පෙනුණා. අපි යද්දි මෙහෙම තැනක් හමු නොවුන නිසා අපි හිතුවා පාර වැරදුනා කියලා. බොහොම අමාරුවෙන් වාහනය හරවාගෙන ආපහු පිටත් වෙන්න ආවා. දැන් වෙලාව රෑ දහය හමාරට විතර ඇති.’’
‘‘අපි මෙහෙම ටික දුරක් එනකොට කැලේ මැදදි මිනිහෙක් මුණ ගැහුණා. හේනකට යන කෙනෙක් වෙන්න ඇති කියලා හිතුණා. අපි එයාගෙන් කැලෙන් එළියට යන  පාර ඇහුවා. ඉස්සරහින් දකුණට දාලා යන්න කිව්වා. ඒ විදියට අපි ආවා. දැන් අපිට යද්දි අමාරුවෙන් ගොඩවුණ තැනින් ආපහු එගොඩවෙන්නේ කොහොමද කියලා බයකුත් එක්කයි ආපහු එන්නේ. හිතාගන්නවත් බැරිතරම් පුදුමයක්. අපි ආපු පාරෙන් කැලෙන් එළියට ආපු තැන වෙනතැනක්. අරවාගේ බාධකයක් එතැන තිබුනේ නෑ. කැලේදි හම්බවුණ කෙනා පෙන්නපු පාරෙ තමයි අපි ආවේ. ඇත්තටම ඒ වනසතුන් ඉන්න මහකැලේදී රාත‍්‍රියේ හම්බවෙලා පාර පෙන්නුවේ කවුද කියන්න අපිටත් පුදුමයි.’’ ආනන්‍ද හිමියෝ සිය අත්දැකීම් පැහැදිලි කළේය.
        මේ ගමනට එක්වූ පිරිසක් ගමන් කළ නවීකරණය කළ ජීප් රථයේ විඤ්චිය හෙවත් තිරිංගල (winch)  පහසුකම් තිබුණි. බොහෝ තැන්වල දී මෙම විඤ්චිය හෙවත් තිරිංගල (winch)  පහසුකම් භාවිතා කරන්නට වූයේ මඬේ එරුණ නිසාය. මහ කැබිලිත්තට ළගාවනවිට දහ පහළොස් පළකදි  විඤ්චිය හෙවත් තිරිංගල (winch)  භාවිත කිරිම නිසා එහි වූ කේබලය පිටපොට එතීමෙන් එක් තැනක තැලී ඇතිබවක් පිරිසට පෙනුණි. යම් හෙයකින් එය භාවිතා කිරිමකදී කැඞීයාමට පවා හැකිය.
පැමිණි පිරිස පසුදින අලූයම පිරිසිදුවී කුඹුකන්ඔයේ වැල්ලේ දී  භක්තියෙන් යුතුව මුරුතැන් බතකුත් සාදා පූජාවට්ටි දහයක්ද පිළියෙළ කරනු ලැබීය. කුඹුක්නන් ඔයේ ඉවුරු දෙකේ පිහිටි බෝධීන් වහන්සේලා වෙත බුද්ධපූජාව පූජාකර සුදුපිරුවට වලින් සැරසී මහකැබිලිත්ත දේවාලයට ගොස් පූජාවන් පවත්වා තම ව්‍යාපාර දියුණුවන්නටත්, කරන කියන රැුකීරක්‍ෂා ආදිය දියණුවන්නටත් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලූහ. එමෙන්ම ආපසු ගමනේදී අතුරු අන්තරාවකින් තොරව නිවෙස්වලට යන්නටත් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ඉල්ලා සිටියහ.
ආපසු ගමන අවදානම්ය. අලකොලආර සහ කලූකුඤ්ඤංආර තරණය කිරීම පහසු නැත. තද බැවුම් සහිත වූ ඉවුරු දෙකින් වාහන ගොඩ කරන්නට විඤ්චිය හෙවත් තිරිංගල (winch)  අනිවාර්යයෙන්ම භාවිත කළ යුතුය. නමුත් එහි කම්බිය තැලී තිබීම අවදානම් සහගතය. මෙම ආරවල් දෙකේ ඉවුරුවලින් අංශක අසුවක ආනතියෙන් යුතුව වාහන දෙකම ගොඩකෙරුණේ විඤ්චිය හෙවත් තිරිංගල (winch)  උපකාරයෙනි. තැලූණු කේබලය ‘‘ටක...ටක...’’ ගාමින් හඩක් නිකුත් වෙද්දී සියල්ලෝගෙම හදවත් ගැහෙන්නට විය.
ඒවනවිටත් එක් ජීප් රථයක් කලූකුඤ්ඤංආරේ ඉවුරේ අංශක අසුවක ආනතියෙන් හෙමින් හෙමින් උඩට එමින් තිබුණි. ‘‘කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට අපිට තියනවා’’ හැමෝම තම තමන්ට කියා ගත්හ. පුදුමයකි. අනතුරක් නොවිණි. කරදරයකින් තොරව කලූකුඤ්ඤංආර ද තරණය කෙරිණි.
කලූකුඤ්ඤංආර පහුකර ටිකදුරක් එද්දී විඤ්චිය හෙවත් තිරිංගල (winch)  සහිත වූ ජීප් රිය කුඩා මඩවලක එරුණේය. ෆෝවිල් පහසුකම් භාවිතාකර මඩවලෙන් ගොඩඑන්නට ගත් උත්සාහය අසාර්ථක විය. ‘‘විඤ්චිය හෙවත් තිරිංගල (winch)  ගහකට දාලා අල්ලමු’’ ජීප් රථයේ සිටි  පිරිස තීරණය කළහ.
‘‘මේක විඤ්චිය දාන්න තරම් අමාරු තැනක්යැ. කමක් නෑ දාමු’’යි කියූ පිරිස විඤ්චිය ගහකට දමා ජීප් රිය හෙමින් හෙමින් ඉදිරියට ගත්තේය. එකවරම ඇසුණු ‘‘දඩස්’’ ශබ්දයෙන් පිරිස තැතිගත්තේ කුලූමීමෙක් හෝ අලියෙක් කඩා පැන්නාය යන සිතුවිල්ල නිසාය. එහෙත් සිදුව තිබුණේ වෙන එකකි. විඤ්චියේ කම්බිය තැලී තිබූ තැනින් කැඞී වෙන්ව තිබුණි.
‘‘හොද වෙලාවට මේක මෙතනදි කැඩුණේ. ලොකු බෑවුමක් අදින කොට කැඩුණානම් මහ අනතුරක් වෙනවා’’ පිරිසේ කෙනෙක් කීවේය. ‘‘කතරගම දෙවියෝ අපි දිහා බලලා තමයි මේක මෙතනදි කැඩුණේ. දැන් අපි මේකේ කැඩුණ කැල්ල අයින් කරලා මෙතනට කොක්කක් දාගෙන බය නැතුව ඉස්සරහට යමු’’ තවකෙක් කියමින් සිදුව තිබූ ආපදාව දුරු කරගත්තේය.
       මීට වසර දාහතකට පෙර රුහුණු විශ්ව විද්‍යාලය උද්භිද විද්‍යා අංශය මගින් යාල වනෝද්‍යානය සම්බන්‍ධව කළමනාකරණ සැලැස්මක් සකස්කිරීම ඇරඹුණි. ඨෑත්‍ ව්‍යාපෘතියක්වූ මෙම සැලසුම සකස්කිරීමේ කටයුත්තේ විදෙස් විශේෂඥයන් වුයේ ඉන්දියානු වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්වූ එච්.එස්. පබ්ලා සහ එච්. එස්. පාවා යන මහත්වරුය. රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන එස්.ඞී. සමරකෝන් සහ මෝලි පණ්ඩුල සිල්වා යන මහත්වරු සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රධානීන් විය.
ඉන්දීය විශේෂඥයන්ගේ උපදෙස් මත යාල කලාප අංක එක, දෙක, තුන, හතර හා පහ මෙන්ම නිමලව, කටගමුව, කතරගම යන අභයභූමි වල පිහිටි ශාක පිළිබද පර්යේෂණ කිරීම මෙම ව්‍යාපෘතියේ මුලික වගකීම විය. මාතර රුහුණු විශ්ව විද්‍යාලයෙන් පාන්දර පිටත්වී දිනක් හෝ දෙකක් යාලට පැමිණෙන පර්යේෂකයන් යළිත් දින කිහිපයකට පසු නැවත යාල කැලේ සංචාරය කරති. මේ ස`දහා වනජිවී දෙපාර්තමේන්තුවෙන් වනජීවී නියාමකයෙකුද පර්යේෂකයන්ගේ සහයට පැමිණියේය. පර්යේෂණ කණ්ඩායමට අවම තරමින් දහ දෙනෙකුවත් අයත්විය.
යාල ජාතික වනෝද්‍යානය කතරගම දෙවියන්ගේ අඩවිය බව හැමෝම දනිති. පර්යේෂණ හෝ වෙනත් කටයුත්තක් සදහා හෝ වනාන්තරයට ඇතුලූවන විට කතරගම දෙවියන් වෙනුවෙන් සිදුකරන සිරිත් විරිත් සිදුකර වනාන්තරයට ඇතුලූවීම සිරිතය. එසේ නොමැති අවස්ථාවල යම්යම් බාධාවන් මෙන්ම අකරතැබ්බ වලට මුහුණ පාන්නට වෙතිය යන විශ්වාසයක් පවතී.
මෙම පර්යේෂණ වල නිරත මහාචාර්ය සමරකෝන්, මෝලි සිල්වා, ඞී.කේ. ශාන්ත දිසානායක යන මහත්වරු සමග එවකට රුහුණු විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ පර්යේෂණ සහකාරවරයෙක්වු වර්තමානයේ වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු ප‍්‍රදේශය භාර සහකාර අධ්‍යක්‍ෂවරයෙක්වූ  ප‍්‍රශාන්ත විමලදාස මහතාද එක්ව සිටියේය.
පිරිස මාතර සිට පාන්දරම යාලට ගියහ. යාලදී වනජිවී නියාමකවරයෙක්වු ජයසේන මහතා තුවක්කුවක්ද අතැතිව ගමනට එක්වූයේ පිරිසේ ආරක්‍ෂාවටය. යාල කැලේ බොහෝ තැන්වල පර්යේෂණ කළ පිරිස කලාප අංක එකේ ජබුරාගල සහ විලපලාවැව අතර ප‍්‍රදේශයේ ශාක අධ්‍යයනය කිරීමට අදහස් කරගෙන සිටියහ.
ඒ අනුව පිරිස යාල වනෝද්‍යානයේ මහාසීලව සංචාරක බංගලාවට ගොස් එතැන්සිට විලපලාවැව හරහා ජබුරාගලට යාම අරමුණවිය. ඒ අනුව ගමන් මාර්ගය සොයා ගැනීමටත් යන ඉසව්ව තීරණය කිරීමටත් මාලිමා යන්ත‍්‍රද යොදාගෙන යන ස්ථානවල සැලැස්මක් අදින ලදී.
අදින ලද මාර්ග සැලැස්ම සහ මාලිමාවද උපයෝගි කරගෙන පිරිස මහසිලව වැව අසලින් ඝනකැලෑවට පිවිසියහ. ඉදිරියෙන්ම ගමන්ගත්තේ මහාචාර්ය සමරකෝන් මහතාය. කැලෑවේ ඇති උස්, මිටි, ගස්වර්ග ද නාදුනන ගස් වර්ගද පිරිසේ නිරීක්‍ෂණයන්ට ලක්වෙමින් තිබිණි. ඇතැම් නාදුනන ගස් වර්ගයක් දුටුවහොත් එයින් කොළ අත්තක් කඩාගෙන ඒමටද පිරිස කටයුතු කරගෙන තිබුණි.
මෙලෙස සැහෙන දුරක් ඇවිද  යද්දී කැලේ ඇතුලේ වු පැලැස්සක් (ඝන කැලැවක් ඇතුළතදි හමුවන පිටිය පැලැස්ස නමින් හදුන්වයි) හමුවිය. අක්කර එකහමාරක් පමණ විශාලවූ එහි නැවතුනු පිරිස ටිකවෙලාවක් ගිමන් හරින්නට වූහ. පිරිස රැගෙන ආ බිස්කට් කා ටික වෙලාවක් ගිමන් හැර යළි පිටත්වන්නට වුයේ මහසිලවදි සකස් කෙරුණු සැලැස්ම අනුවය.
පිරිසට යා හැකිවුයේ කිලෝමීටර් භාගයක් පමණ දුරක් පමණි. දැවැන්ත අලියෙක් ඔවුන් ඉදිරියේ ඉන්නා අයුරු පිරිසේ නෙත ගැටිණි. මෙවැනි වෙලාවක තනි අලියෙකු ඉදිරියට මුණ ගැහීම අනතුරු ගණනාවකට හේතුවිය හැකි නිසා අලියා ම`ගහැර යාම සුදුසුම කාරණය බව පිරිස තීරණය කළහ. අලියා සිටිනවා පිරිස දුටුවත් අලියාට පිරිස ගැන ඉව තවමත් නොවැටී තිබීම පිරිසේ වාසියට කරුණක් විය. අලියා කණ්පට ගහන ශබ්ද පවා දැන් පිරිසට ඇහෙයි. ඉන් හැගී ගියේ අලියා තරමක් තමන්ට ලංවන බවකි.
වහාම ගමන්කර දිශානතිය වෙනස් කර ඉදිරියට යාමට පිරිස තීරණය කළහ. දැන් පිරිස ඝනකැලෑව මැද්දෙන් ඉදිරියට ඇදෙයි. පැය එකහමාරක් පමණ මෙසේ ඉදිරියට යනවිට පිරිසට හැගීගියේ තමන් කෑලෑවේ අතරමං වූ බවකි. අලියා ගැන හිත හිතා කැලෑවෙන් ඉදිරියට යද්දි යායුතු ඉස්ව්ව වැරදී ඇතිබව වනජිවි මගපෙන්වන්නාටද අවබෝධවී තිබුණි.
කෙසේ වෙතත් තවත් ටිකක් ඉදිරියට යද්දී පිරිසට නැවතත් පැලැස්සක් හමුවිය. මේ කියන කාලයේ කොටි ත‍්‍රස්තවාදයද ව්‍යාප්තව තිබූ වකවානුවකි. කොටි ත‍්‍රස්තයන්ගේ ක‍්‍රියාකාරකම් යාල කැලෑවේද ක‍්‍රියාත්මක වෙමින් පැවතිනි. අලූතින් හමුවු පැලැස්සෙන් පිටවිය යුතු ඉසව්ව කොහේදැයි පිරිස හොයන්නට විය. මේ අතර පැලැස්සේ තිබී බිස්කට් කවරයක කැල්ලක් හමුවිය. ඒ කවර කෑල්ල මේ පිරිස විසින් පැය කිහිපයකට පෙර ආහාරයටගත් බිස්කට් තිබූ කවර කෑල්ලක් විය. කා අතින් හෝ එය අතපසුවීමකින් වැටී තිබුණි. මෙයින් පිරිසට එක කරුණක් අවබෝධ විය.
කැලැවේදි හමුවු දැවැන්තයා මගහරින්න ගමන් මගේ දිශානතිය වෙනස් කර ඉදිරියට ගොස් ආපසු ඇවිත් තිබුණේ ගමන පටන්ගත් තැනටම ය. ඒබව හො`ඳින් අවබෝධවූයේ බිස්කට් කවර කෑල්ලෙනි. වනජිවී මගපෙන්වන්නාවු ජයසේන මහතා සහ මහාචාර්ය සමරකෝන් මහතා කතරගම දෙවියන් සිහිකර කොළ අත්තක් කඩා එල්ලා තමන් ආ රාජකාරිය කිරිමට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබාදෙන ලෙස ඉල්ලූහ.
ඉන්පසු පිරිස නැවතත් පෙර සැලසුම අනුව ගමන ආරම්භ කළහ. පැය දෙකකට පමණ ලංවෙද්දී ඉලක්කයවු විලපලා වැවට එන්නට හැකිවිය. නමුත් සැලැස්ම අනුව හිතපු තැනට කිලෝමීටර් භාගයක් පමණ ගමන් මග වෙනස්වී තිබුණි.  කෙසේ වෙතත් නිරීක්‍ෂණ කටයුතු අවසන් කර ආපසු මහාසීලව වැව දෙසට එන්නට පිරිස පිටත්වුහ.  එසේ එනවිට නැවතත් මහා සද්ධන්ත අලියෙක් ඔවුන් එන පාර මාරුවන අයුරු පිරිසට නෙත ගැටුණි. ඒ තමන්ට මුලින්ම හමුවු දැවැන්තයා බව පිරිසට වැටහිනි. අලියා ගමන් කළ මාර්ගයට සමාන්තර මාර්ගයකින් පිරිසද ඉදිරියට පැමිණ ඇතිබව අවබෝධ විය.
කෙසේ වෙතත් මෙවැනි සද්ධන්තයෙකු කැලේදි හමුවීම භයානකය. පාර මාරුවු අලියා මගහැර සිටි පිරිස, අලියා මහාසීලව කලපුව පැත්තට ගියපසු යාල වනොද්‍යානයේ පාරකට පැමිණයහ. මේ කාලයේ සන්නිවේදන ක‍්‍රම කිසිවක් ක‍්‍රියාත්මක නොවු වකවානුවක් නිසා පලටුපාන කාර්යාලයට පණිවිඩයක් යැවිය හැකි ක‍්‍රමයක් සෙවීය. එවිට පැමිණි සංචාරකයන් රැගත් වාහනයකින් යාල පලටුපාන කාර්යාලයට පණිවුඩයක් යවා වාහනයක් ගෙන්වාගෙන මේ පිරිස ආපසු පැමිණිමට සමත්විය.
මේ පිරිස අතින් සිදුවු යම් වරදක් හේතුවෙන් කැලෑවේදී පාර වරදින්නට ඇතැයි ඔවුහු සිතුහ. කතරගම දෙවියන්ට කොළ අත්තක් එල්ලා බාරවීමෙන් පසු උපද්‍රවයකින් තොරව එන්නට හැකිවු බව කාගේත් විශ්වාසය විය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කටවරද්දා ගැනීම සමහර අවස්ථාවල  විපත් ගෙනෙන බවට දැඩි විශ්වාසයක් පවති. එනිසා අඩවියට පිවිසෙන  බොහෝ දෙනෙක් කතාකරන්නේ දෙවියන්ගේ පිහිටෙන් ‘‘කරන්න බලමු.’’ ‘‘යන්න බලමු’’ ආදි වශයෙනි.
මේ අතර මීට වසර  දෙක තුනකට ඉහතදී කුමන වනෝද්‍යානයේ ඇදකුඹුක ක`දවුරු බිමට පිරිසක් පැමිණියහ. යාල සහ කුමන ජාතික උද්‍යානයට ඉතාමත් ආදරය කරන පවුල් කිහිපයක සාමාජිකයන් ඒ අතර වූහ. පිරිසෙන් වැඩි දෙනෙකුට වනෝද්‍යානය හුරුය. එහෙත් පිරිසේ සිටි ඇතැම් කාන්තාවන් ‘‘දෙවියන්’’ හෝ ‘‘හාස්කම්’’ ගැන කිසිදු විශ්වාසයක් නොතැබුවෝ වුහ. ඔවුහු වැඩි දෙනෙක් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ඉහළම තනතුරු දරන්නියන් වුහ. වනජිවී නියාමකයකුගේ මග පෙන්වීම යටතේ පිරිස කදවුරු බිමට ගියහ. දිනතුනක් ඇදකුඹුක කදවුරු බිමේ සිටි පිරිස අතර සිටි කාන්තාවක් පවසා තිබුණේ පසුදින තමන්ට රාජකාරියට අනිවාර්යයෙන් යායුතු බවයි. ඒනිසා එදින කුමනින් පිටත්විය යුතු යැයි ඇගේ ඉල්ලීම විය. ඒ අනුව පිරිස තුන්වන දින දහවල් දෙකයි තිහට පමණ ඇදකුඹුක කදවුරෙන් පිටත්විය.
ඇදකුඹුකේ සිට කුමන විල්ලූ හරහා ඔකද පිවිසුම් මධ්‍යස්ථානයට පැමිණි පිරිස වනජීවි මගපෙන්වන්නා එහි බස්සවා පිරිස කොළඹ බලා පිටත්ව ගියහ. මේ පිරිස පැමිණ සිටියේ අති නවීන වාහන වලය. පිරිස අතර යාන්ත‍්‍රික ඉංජිනේරුවෙක්ද සිටියේය. එහෙත් ඔකද සිට පානම දෙසට කිලෝමීටර් තුනක් පමණ දුරක් ගෙවා එද්දී හමුවන වෑකඩ හරියේදී ඉක්මනින් යන්නට  ඕනෑ බව කී කාන්තාව ගමන් කළ වාහනයේ කාර්මික දෝෂයක් ඇතිවිය.
ඇන්ජිම නැවතුන වාහනය පණගැන්වීම සදහා පිරිස නොගත් උත්සාහයක් නැත. එහෙත් ඒ කිසිදු උත්සාහයන් ඵලක් නොවීය. අවසානයේදී ඔක`ද වනජීවි කාර්යාලයට සිද්ධිය පිළිබදව දැනුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව ක‍්‍රියා විරහිත වාහනය වෙනත් වාහනයකින් ඔක`ද වනජිවි කාර්යාලයට ආපසු ඇදගෙන එනු ලැබීය. රාත‍්‍රියේද කාර්මික දෝෂය මගහැරවීමට උත්සාහ කළේය. එහෙත් ඵලක් නොවීය. උත්සාහය අතහැරදැමු පිරිස නින්දට වන්හ.
ක‍්‍රියාවිරහිත වාහනය අලූත්වැඩියා කිරීමට  කාර්මිකයෙක් සොයාගෙන පොතුවිල් ප‍්‍රදේශයට යාම හෝ වාහනය එහි ඇදගෙන යාමකළ යුතුය. මේ අතර පසුදා උදේ එහි රියදුරු වාහනයට එහි යතුර යොදා පණගැන්වීමට නිකමට මෙන් උත්සාහ කළේය. පුදුමයකි වාහනය පණ ගැන්විනි.
මෙදින රාජකාරියට යාමට අවශ්‍ය බව කියා ගමන ඉක්මන් කළ කාන්තාවට තමන්ගේ බලාපොරොත්තු අතහරින්ට වු අතර පිරිස ඇයට කියා සිටියේ  ඇය පෙරදින ‘‘ කටවරද්දා’’ ගැනීම නිසා සියලූ දෙනාටම රස්තියාදු වන්නට සිදුවු බවයි. කතරගම දෙවියන්ගේ අඩවියේ ‘‘හාස්කම්’’ ඇතිබව පිරිසේ සිටි කාන්තාවන් සියලූ දෙනාම විශ්වාස කරන්නට පටන්ගත්තේ මෙම සිදුවීමෙන් පසුවය.
කතරගම දෙවියන්ගේ හාස්කම් වත්මන් කුමන වනොද්්‍යානයට අයිතිවු අතීත කුමන ගම්මානයට බෙහෙවින්ම බලපෑ බව එදා ‘‘කුමන’’ ගම්මානයේ පදිංචිව අද ඉන් ඉවත්වූ වැසියෝ උදාහරණ සහිතව පෙන්වා දෙති. එදා ‘‘කුමන’’ ගම්මානයේ සිටි අයගෙන් වනෝද්‍යානයේ ආරක්‍ෂාවට වනජීවී දෙපාර්තමේන්තුවට ලැබුනේ නොමද සහායකි.
‘‘කුමන’’ ගම්මානයේ ඉපදි හැදි වැඞී, වනජිවි දෙපාර්තමේන්තුවේ වනසත්ව අඩවි සහකාරවරයෙකුවන බී.ගුණසිංහ මහතා ‘‘කුමන’’ ගම්මානයේ වැසියන්ට වු තවත් සිදුවීමක් සිහිපත් කළේය.
‘‘අපි කුමන ගමේ ඉන්දැද්දි මේ සිදුවීමට කිහිප අවස්ථාවකදිම මුහුණ දුන්නා. ගමේ වැඩිහිටි පිරිමි කුඹුරුවල වැඩට ගියාම කෑම අරගෙන යන්නේ ගෙවල්වල ඉන්න ගෑණු අය. හැබැයි මස්මාලූ මොනවත් නෑ. එළවලූ සහ බත් තමයි තියෙන්නේ. තව මොනවා හෝ කැලෙන් හොයාගත්ත අලවර්ගයක් තියනවා. කෑම ගෙනියන කාන්තාවෝ කුඹුරට යන්නේ නෑ. ඒ අය සමග පොඩි පිරිමි ළමයෙක් බොහෝවිට යනවා. අලි කොටි වළස්සු ඒ කාලේ අඩුවක් නෑ. ගෙදර ඉදලා කුඹුරට යන ගමන හරිම අවදානම්. කුඹුර ආසන්නයට ගියාම අර පිරිමි ළමයා කුඹුරට ගිහිං ඇඹුල ගෙනාවා කියලා පණිවිඩය දෙනවා. කුඹුරේ වැඩකරන පිරිමියෙක් නැත්නම් දෙන්නෙක් මගට ඇවිත් කාන්තාවන් අත තියෙන ඇඹුල අරගෙන යනවා.’’
‘‘මෙහෙම ඇඹුල අරගෙන යන සමහර දවස්වල වල් අලි පාරේ ඉන්නවා.  කුලූහරකුත් ඉන්නවා. ඒ වගේ අනතුරක් තියන දවස්වලට අපි බයෙන් තමයි යන්නේ. එකදවසක් එහෙම යනකොට අපි ඉස්සරහින් රතු ඇදගත්ත කෙනෙක් යනවා. හැබැයි කවුද කියලා මුහුණ පේන්නේ නෑ. අක්කලා දෙන්නෙක් එක්ක මම තනිවට ඇඹුල අරගෙන යන්නේ. මෙහෙම යද්දී ටිකදුරකදි හමුවුන වංගු දෙකෙන් පස්සේ අර රතු ඇ`දගත්ත කෙනා අතුරුදන් වෙලා. ඒ අපේ ආරක්‍ෂාවට කතරගම දෙවියො එවපු  දුතයෙක් කියලා එදා ඔය සිද්ධිය තාත්තාට එහෙම කිව්වාම ඒ අය මතක් කළා.’’ ගුණසිංහ මහතා කීවේය.

No comments: